255 bus බෝම්බෙ දවසෙ අපි හතර දෙනා කටුබැද්දෙ වෙල හරිය පාස් වෙලා ටික වෙලාවයි. CV මැරුණ බෝම්බෙ දවසෙත් අපේ school van එක පෙළපාලිය පාස් කරල මාවයි නංගිවයි සීයලගේ ගෙදරින් බස්සල ගියා විතරයි. බෝම්බෙ සද්දෙ ඇහෙද්දි මං ඉස්කෝලෙ ඇඳුම මාරු කරලත් නෑ. මූනිස්සං කෑල්ලක් සීයලගේ ගේ ඉස්සරහ තිබිලත් මට හම්බුනා. 2009 දි AL වලට බම්බලපිටියෙ පන්ති වලට bus එකේ යද්දි කොයි වෙලේ පුපුරයිද කියල හැඟීමක් තිබ්බ.
මං 10, 11 පංති වලදි ලංකාදීපෙ අතිරේකයක LTTE එක පටන් ගත්ත හැටිත්, JVP එක පටන් ගත්ත හැටිත් ඒව විකාශය වෙච්ච හැටිත් ලිපි ගානක් ගියා. මං ඒ කාලේ ඕව සේරම අකුරක් නෑර කියවනව. දැන් ඒ විස්තර එකින් එකට මතක නැති උනත් ගොඩක් දේවල් දිහා විචාර බුද්ධියකින් දකින්න ඒ කියවීම හේතු වෙන්න ඇති.
2009 යුද්දෙ ඉවර වෙන හැටි අපි TV එකේ බලන් හිටිය. ඇති යන්තන් ඒක ඉවරයි කියන හැඟීම ආවට ප්‍රභාකරන්ගෙ ඔලුව පෙන්නපු විදිහට මට කිසිම සතුටක් ආවෙ නෑ. මට ඇති වුණේ අනුකම්පාවක්.
යුද්දෙ ඉවර උනාම මං මහින්ද රාජපක්ෂ ජනාධිපතිට ලියුමක් ලිව්ව. ඒක CR කොළ 4ක විතර දිග ලියුමක්. රාජපක්ෂ ජනාධිපති ඒක කියෙව්වාද කියල මං දන්නෙ නෑ. හැබැයි ජනාධිපති ලේකම් මට ස්තුති කරල ලියුමක් එවල තිබ්බ. මගේ ලියුමෙ සාරාංශය වුණේ ත්‍රස්තවාදී යුද්ධය ජයගත්ත මේ වෙලාවෙ ඔබතුමා රටේ ආර්ථික යුද්ධයත් ජය ගන්න ඕන කියල. මහින්දට ඒක කරන්න හොඳටම පුළුවන්කම තිබ්බ, හැබැයි කරේ නෑ. ඒ ලියුම ලියද්දි මට අවුරුදු 17යි.
මං මුලින්ම යාපනේ ගියේ 2021 දි. යාපනේ කියන්නෙ මේ ලෝකෙ මං ආසම තැන. යාපනේ මිනිස්සු මේ ලෝකෙ ඉන්න ආදරණීයම මිනිස්සු. මං යාපනේ ගියපු පලවෙනි වතාවෙ එක මල්ලි කෙනෙක් මට තඩි chocolate පාර්සලයක් ගෙනත් දුන්න ගෙදර ගේන්න. තව වාතාවකදි තව මල්ලි කෙනෙක් ගෙදර එන්න කියල එයාගෙ අම්මට කියල බජ්ජි හදල දුන්න.
දවසක් යාපනේ ගිය වෙලාවක අපි ගියපු ත්‍රීවිල් එක එලෙව්වෙ කලින් LTTE එකේ හිටපු මනුස්සයෙක්. එයා දෙමළ පුළුවන් මගේ යාලුව එක්ක එයාගෙ කතාව කිව්ව. එයා කිව්ව LTTE එක එයාලට සිංහල මිනිස්සු ගැන ඇති කරල තිබ්බ ආකල්පය කොයි තරම් වැරදිද කියල.
උතුරට හදල දෙන හැම ගොඩනැගිල්ලම එයාල බොහොම පරිස්සමින් පාවිච්චි කරනව. ඒ මම විශේෂයෙන් දැක්ක දෙයක්. දවසක් අපි ගුරුනගර් පැත්තෙ රවුමක් ගහන වෙලාවක අහන්න ලැබුන ඒ හරියේ කුණුගෙනියන වැඩේට උදව් කරන්නෙ එයාලගෙ වෙන රටවල් වල නෑයො කියල. ඔව්, දෙමළ ඩයස්පොර එක කියන්නෙ එයාල තමයි. මගේ ඔලුවට ආපු පළවෙනි ප්‍රශ්නෙ තමයි, නගර සභාව පොල් ගානවද කියල.
යුද්දෙ ඉවර වෙලා අවුරුදු 16ක් ගිහිල්ලත් මේ රට, මේ රටේ මිනිස්සු නොබෙදෙන්න කරන්න ඕන දේවල් එක රජයක්වත් කරාද කියන එක ප්‍රශ්නයක්. ඉස්කෝලවල දෙමළ කතා කරන්න උගන්නවද ඇත්තටම? ඔහොම කිව්වට මටත් තාම දෙමළ කතා කරන්න බෑ. දවසක් point pedro වල බස් හෝල්ට් එකක බිම වාඩිවෙලා ඉන්නකොට මනුස්සයෙක් මගෙන් මොනාද ඇහුව. මාත් මොනාද කිව්ව. තේරුණාද දන්නෙ නෑ.
එක වතාවක් මේ දේවල් ගැන මගේ තියෙන දයානුකම්පාව ගැන මමයි මට හිටිය හොඳම යාළුවයි අතරෙ වාදයක් ඇති වුණා. එයා පදවියෙ බස් එකක බෝම්බෙකට අහුවෙලා බේරිච්ච් දෙන්නගෙන් එක්කෙනෙක්. අනිත් කෙනා බස් driver. එයා බේරුනේ කොහොමද කියන එක හිතාගන්න බෑ. ටෙරාල ඇවිත් බේරිච්ච අයට වෙඩි තියයි කියල එයා seat එකේ යටට ගිහින් army එකෙන් එනකන්. අපි දෙන්නම සාමාන්‍යයෙන් හිතන්නෙ එක වගේ උනාට මරණ බය දැනුන මනුස්සයෙක් හැටියට මේ දේවල් ගැන එයාට මං හිතන විදිහට හිතන්න අමාරුයි.
2023 දි මගේ යාලුවෙක්ට යාපනේ campus එක ඇතුලෙ තිබ්බ විරු සමරුවට එන්න කියල ආරාධනාවක් ලැබුන. ඒ තමයි පළවෙනි වතාව විරු සමරුවට සිංහල කෙනෙක්ට ආරාධනාවක් ලැබුණ. එයා ආපු එක campus එකේ දෙමළ ළමයින්ට ලොකු දෙයක්.
පදනම් විරහිතව මම යුද්දෙට විරුද්ධයි. ඒ ඔෂින් පොඩි කාලෙ මගේ ඔලුවට දාපු දෙයක්.
මේ හැම යුද්ධයක්‌ම, හැම කොලහලයක්ම, හැම සන්නද්ධ අරගලයකම ආත්මාර්ථකාමී කමත් එක්ක ලොකු සම්බන්දයක් තියෙනව කියල මට හිතෙනව. හැම රජයක්ම හැමදාම ඔය ප්‍රශ්න වලට පැලැස්තර ගැහුව විතරයි. ඒ වගේම තමන්ට ඕන වෙලාවට පැලැස්තරේ ගලවල තුවාලෙ කුණුවෙන්න තිබ්බ ඡන්ද ටික දාගන්න. ඒ වගේම ඔය හැම අරගලේම යුද්දෙම පටන් ගත්ත නායකයොන්ට ඕන වුණේ තමන් වටේට මොන මෝඩකමට හරි එකතු වෙලා ඉන්න පිරිස නිසා ඇති වුණ ආත්මාර්ථකාමී අභිමානය භුක්ති විඳින්න.
කොහොම හරි අන්තිමේදි හැමදාම තැලුනෙ අහිංසක මිනිස්සු. යුද්දෙ ඉවර වෙලා අවුරුදු 16ක් ගිහිල්ලත් අපි තැලෙන එක නැවතිලා නෑ.
Leave a comment