Eshadi Mendis

I Remember the Fire

මං මුලින්ම යාපනේ යන්නේ 2020දි. ඒ ශානිකත් එක්ක. ජීවිතේට ඇහැටවත් දැකල නැති ශානිකත් එක්ක යාපනේ යන්න අපේ තාත්තා මාව කොටුවට එක්කන් යනවා. ජීවිතේට දැකල නැති මාව යාපනේ එක්කන් යන්න ඇඹිලිපිටියෙ ඉඳන් කෙලින්ම යාපනේ යන්න හිටපු ශානිකා කොටුවෙන් බහිනවා. ඒවා හරිම පුදුම බැඳීම්. යාපනේ සහ ශානිකා නිසා මාව මටම උරුම ලස්සන ලෝකෙකට ඇතුල් කරා. මම බැඳීම්…

By

ආදරණීය යාපනය

මං මුලින්ම යාපනේ යන්නේ 2020දි. ඒ ශානිකත් එක්ක. ජීවිතේට ඇහැටවත් දැකල නැති ශානිකත් එක්ක යාපනේ යන්න අපේ තාත්තා මාව කොටුවට එක්කන් යනවා. ජීවිතේට දැකල නැති මාව යාපනේ එක්කන් යන්න ඇඹිලිපිටියෙ ඉඳන් කෙලින්ම යාපනේ යන්න හිටපු ශානිකා කොටුවෙන් බහිනවා. ඒවා හරිම පුදුම බැඳීම්.

යාපනේ සහ ශානිකා නිසා මාව මටම උරුම ලස්සන ලෝකෙකට ඇතුල් කරා. මම බැඳීම් පවත්ව ගන්න අමුතුවෙන් මහන්සි වෙන, call කරන්න, message කරන්න මතක් වෙන කෙනෙක් නෙවෙයි. හැබැයි, එදා එහෙම හම්බුන මිනිස්සු එක්ක අදටත් ඒ බැඳීම් එහෙම්මමයි. එහෙම තමයි ගැලපෙන මිනිස්සු.

මට තාමත් මතකයි මන් පළවෙනියටම යාපනේ ගිය වතාවේ ගෙදර එන්න බස් එකට නගින්න ඔන්න මෙන්න තියෙද්දී සන්තෝෂ් තඩි chocolate පාර්සලයක් මට ගෙනියන්න දෙන්න උස්සන් ආපු හැටි. ඊට අවුරුද්දකට දෙකකට පස්සෙ තිබ්බ සන්තෝෂ්ගේ අක්කගේ wedding එකට මටත් ආරාධනා කරාම මන් පුදුම උනේ එයාලට අපිව එච්චරටම දැනුනේ කොහොමද කියලා.

යාපනේ ගැන රස කතා ගොඩයි. මායි ශානිකයි එක වතාවක් පෙට්රෝල් ෂෙඩ් එකකින් ඇඳුම් මාරු කරන් පේදුරු තුඩුවෙන් මුහුදට පැන්න snorkelling කරන්න. යාපනේ මිනිස්සු අපි වගේ නාහෙට අහන්නේ නැති එවුන්ට ෆුල් සුප්පොර්ට් කියලා මට හිතිලා තියෙන වාර ගාන අනන්තයි. එදා ඇත්තටම අපි දෙන්න යන්න ගියේ ඩෙල්ෆ්. අපි දෙන්න කොයි තරම් කලින් ගියාද කිව්වොත් අපි යද්දී බෝට්ටුව ගිහින්. මාව ඩෙල්ෆ් එක්කන් යන්න බැරිවුණාට හිතේ දුකින් හිටපු ශානිකා ආපහු town එකේදී මගෙන් ඇහුව අක්ක PointPedro යමුද කියලා. කොහොමත් ගමන් යද්දි දුර, නවතින්නේ කොහෙද, කොහොමද යන්නේ වගේ වැදගත් ප්‍රශ්න අහන්න තරම් මට මතක් වෙන්නේ නෑ. ඇත්තටම pointpedro වල රෑ නිදාගන්න අපිට සිද්ද වෙන්න තිබ්බ පෙට්රෝ්ල් ෂෙඩ් එකේ අක්කා නොහිටියානම්. හැබැයි එහෙම උනා නම් කොච්චර දෙයක්ද. එහෙම වුණා නම් ඒක තවත් රස කතාවක්.

යාපනේ තියෙන නිදහස, යාපනේ සුවඳ, යාපනේ මිනිස්සු, යාපනේ කෑම, මේ ලෝකේ ඒ තරම් ලස්සන culture එකක් තව කොහෙද තියෙන්නේ.
යාපනේ කෑම කියද්දි කවදාවත් අමතක කරන්න බැරි දේ තමයි බජ්ජි. මන් ලෝකේ වටේ කොයි තරම් කෑම කාලා තිබ්බත්, දියළුම ඇල්ල පහල තිබ්බ පැටිස් වල රසත්, යාපනේ බජ්ජි වල රසටත් ලං කරන්න රසක් තවත් නෑ. දැන් ඉතින් අම්මගේ කෑම සහ නංගිගේ කෑම ගැන අහන්න එපා. ඒක වෙනම දිව්‍ය ලෝකයක්, මේක තව දිව්‍ය ලෝකයක්. දිව්‍ය ලෝක දෙකක් එහෙම සංසන්දනය කරන්න බැනේ.

ඉතින් එදා ශානිකා කොටුවට ඇවිත් යාපනේ එක්කන් ගියපු මන් ඊට පස්සේ තනියම යාපනේ ගියා කීප වතාවක්ම. එක වතාවක් අම්මවත් එක්කන් ගියා. මන් මේ යාපනයක් බදාගෙන දඟලන්නේ මොකද කියන එක අම්මා හරියටම දැනගත්තේ එදා. අම්මා ජීවිතේ වැඩිපුරම සතුටු වුණ දවසක් වෙන්න පුළුවන් මාත් එක්ක බෝට්ටුවේ නාගදීපේ ගිය ගමන. අපි නාගදීප කෝවිලෙන් රසම රසට කෙසෙල් කොලේට බතුත් කෑවා.

Photo by Ajai S on Unsplash

මගේ රස්තියාදුව හරියට පටන් ගත්තෙත් යාපනෙන් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ පාර යාපනේ යන්නේ ඇයි? ඇත්තටම ඇයි? උදේ ශානිකා කතා කරේ මට යාපනේ යන්න එන්න කියන්න නෙවෙයි, වෙන දේකට. ගුරුනගර් කුණු ප්‍රශ්නෙට ශානිකා වගේම අපේ යාපනේ සෙට් එකත් කොයි තරම් මහන්සි උනාද කියලා මන් හොඳටම දන්නවා. ඉතින් උදේ ශානිකා කිව්වම එයා හවසට යාපනේ යන්න ඉන්නෙ කියල, මාත් හැරෙන තැපෑලෙන් බස් එකක් book කරේ ගුරුනගර් මිනිස්සු හම්බෙන්න, සන්තෝෂ් මල්ලිගේ අම්මලාව බලන්න යන්න වගේම බජ්ජි කන්න තියෙන පෙරේත කමට. මට කොයි තරම් වැඩ තියෙනවද කියල අම්මටයි තාත්තටයි කිය කිය හිටපු මන් එක පාරටම දවල් කිව්වම රෑට යාපනේ යනවා කියල.. එයාලට ඒවා පුරුදුයි. මගේ ලස්සන ජීවිතේ මට කැමති විදිහට රසවිඳින්න දෙනවට පින්.

ඉතින් හෙට උදේට යාපානෙන් ගොඩ බැස්සම තව රස කතා ගොඩාක් තියේවි. හැබැයි සොනාලිලා, දණ්ඩිල, සන්තෝෂ්ල හිටපු යාපනේට වඩා එයාල නැති යාපනේ ටිකක් වෙනස් වේවි.

කොළඹ සිට යාපනේට ඇදෙන PPT බස් එකේ සිට..

Leave a comment